අනුරාධපුරයේ පුරාණ ගල් පාලම්

bridgs oneAnceint stone bridges of Sri Lanka

අදින් වසර දහස් ගණනට පෙර ලංකාව ශිලා කර්මාන්තයේ ඉහළ තැනට පත්ව සිටියේය. ශිලා තාක්ෂණයේ උපරිම වර්ධනයක් පෙන්නුම් කළ අනුරාධපුර යුගයේදී ලංකාවේ මාර්ග වේගයෙන් සංවර්ධනය වූ අතර එකල ලංකාවේ මාර්ග පද්ධතිය ඉතා දියුණු මට්ටමක පැවති බව පෙන්නුම් කරන සාධක අදටත් ශේෂව පවතින්නේය.

අනුරාධපුරයේ සංචාරය කරන බොහෝදෙනාගේ අවධානයට ලක්නොවන ගල් පාලම් කියා පාන්නේ අතීතයේ ලංකාවේ පැවති මාර්ග ඵද්ධතියේ දියුණුවයි. අනුරාධපුර මල්වතුඔයේ තිබෙන ගල් පාලම් හා මිහින්තලය මහකනදරා ඔයේ තිබෙන ගල් පාලම අතීතයේ පැවති පාලම් තාක්ෂණය ලොවට කියාපාමින් තවමත් ශේෂව පවතින්නේය.

ගල් පාලම් ලංකාව පුරාම ඉදිවී ඇතත් වැඩියෙන්ම ගල් පාලම් දකින්න ලැබෙන්නේ අනුරාධපුරයේයි. මඩකලපුව උතුරු පළාතේ පදවිය වැනි ප‍්‍රදේශවල ගල් පාලම් තිබී ඇති බවට පුරාවිද්‍යා වාර්තාවන්ගේ සදහන් වන නමුත් මේ වන තෙක් ඒවා තහවුරු කරගෙන නොමැත. කලාත්මක හා තාක්ෂණය අතින් දියුණු ගල් පාලම් දකින්න ලැබෙන්නේ අනුරාධපුර යුගයේය. ක‍්‍රිස්තු වර්ශ තුන්වැනි සියවසේ සිට කි‍්‍රස්තුවර්ශ අටවැනි සියවස දක්වා වන කාලයේදී අනුරාධපුර යුගයේ ගල් පාලම් ඉදිවී තිබෙන්නේය. එනම් මෙම ගල් පාලම් ඉදිවී තිබෙන්නේ මීට වසර එක්දහස් හත්සියයත් එක්දහස් තුන්සියයත් වැනි කාලයකට පෙරදීය.

ගල් පාලම් මහාවංශයේ සදහන් වන්නේ ශීලා සේතු නමිනි.

මල්වතු ඔයේ ගල් පාලම්

‘‘ගල් පාලම් තුනක් අනුරාධපුරයේ මල්වතු ඔය හරහා දකින්න ලැබෙනවා. බොහෝ දුරට නිර්මාණ සුරකී ඇත්තේ කිරිබත් වෙහෙරට නුදුරින් පිහිටි ගල් පාලමේ. නඛා වෙහෙර ආසන්නයේ තවත් ගල් පාලම් දෙකක් දකින්න ලැබෙනවා. හාල් පාන් ඇල හරහා තවත් ගල් පාලමක් දකින් පුලූවන්. මහකනදරාව හරහා තවත් ගල් පාලමක් තියෙනවා. මේ ගල් පාලම මීටර විසිපහක් දිගයි. මීටර් තුනක් පළලයි. උතුරු පළාතේ පදවිය පැත්තේ තිබෙන ගල් පාලමක් පිළිබදව ලංකාව පිළිබදව වාර්තාවන් ඉදිරිපත් කළ බ්‍රෝහියර් සදහන් කර තිබෙනවා.’’ සංස්කෘතික ත‍්‍රිකෝණයේ පර්යේෂණ නිලධාරියෙක් වශයෙන් කාලයක් කටයුතු කර මේ වන විට සීගිරිය කෞතුකාගාරයේ පාලක වරයා වශයෙන් කටයුතු කරන කුසුම්සිරි කොඩිතුවක්කු කියන්නේය.

අනුරාධපුරයේ ඇතුළු නුවර රාජධානියේ අගනුගරය ලෙසින් පැවති අතර ඇතුළු නුවරට පැමිණීමට තිබූ මාර්ගවල ගල් පාලම් තිබී ඇතැයි ජේතවනාරාම සංරක්ෂණ ව්‍යාපෘතියේ ප‍්‍රධාන පර්යේෂණ නිලධාරී තුසිත මෙන්ඩිස් කීවේය.

‘‘සතර දිසාවෙන් ඇතුළු නුවරට ප‍්‍රවේශවන මාර්ගවල ගල් පාලම් දකින්න ලැබෙනවා. උතුරු පැත්තෙන් ඇතුළු නුවරට ප‍්‍රවේශවීමට තිබූ මාර්ගයේ තිබූ ගල් පාලම තමයි මල්වතු ඔය හරහා තිබෙන්නේ. බටහිරින් මහකනදරා ඔය හරහා ගල් පාලමක් දකින්න ලැබෙනවා. මහකනදරා ඔයේ තිබෙන ගල් පාලම ඔස්සේ වැටී තිබූ මාර්ගය තමයි අනුරාධපුරය හා ත‍්‍රිකුණාමලය යාකර තිබෙන්නේ.’’ මෙන්ඩිස් පැවසුවේය. ත‍්‍රිකුණාමලයවරාය අනුරාධපුර යුගයේ ජාත්‍යන්තර වරායක් ලෙසින් පැවති අතර මහකනදරාව හරහා ඉදිකර තිබෙන ගල් පාලම ප‍්‍රධාන පාලමක් බවට පත්ව තිබෙන්නට ඇත.

ඇතුල් නුවරට පිවිසෙන පාරවල්

අනුරාධපුරය නගරයක් ලෙසින් වර්ධනය වීමත් සමගින් නගරය හා අනික් ප‍්‍රදේශ සම්බන්ධ වන පරිද්දෙන් මාර්ග පද්ධතිය සකස්වී තිබුනේය. තෝණිගල හා ලබුඇටබැදිගල සෙල්ලිපි දෙකේ ඇතුළුනුවරට පිටින් පිහිටි වෙළදපොළක් පිළිබදව සදහන් වන්නේය. මල්වතුඔය හරහා තිබෙන ගල් පාලම ආසන්නයේ මෙය තිබෙන්නට ඇතැයි මෙන්ඩිස් පවසන්නේය.

මට වසර එක්දහස් හත්සියයකට පමණ පෙර ලංකාවේ මාර්ග ඵද්ධතිය සකස්වී තිබුනේ ඒ කාලයේ පැවති අවශ්‍යතාවයන්ට සරිලන පරිද්දෙනි. රජුගේ සේනාවන් ගමන්කළ මාර්ගයන් සකස්වී තිබුනේ ඊට සරිලන පරිද්දෙනි.

‘‘ඒ කාලයේ නොයක් රථ වර්ග තිබී තිබෙනවා. බොහෝ දෙනා ඒ පාරවල් භාවිතා කරනවා. ඒ වගේම ඇත් අස් රිය පාබල කියලා වෙන වෙනම සේනාංක තිබී තිබෙනවා. ඒවාට යන්න පුලුවන් විදියට තමයි පාරවල් හදලා තියෙන්නේ.’’ කොඩිතුවක්කු කීය.

මේ කාලසීමාවේ මාර්ගයන් පැවති අන්දම පිළිබදව දිඹුලාගල සෙල් ලිපියේ සදහන් වන්නේය.

‘‘මේ කාලයේ බොරලූ පාරවල් තමයි වැඩියෙන්ම තිබුනේ. ඒ වගේම කුඩා ගල් ඇතිරූ මාර්ගයන් පිළිබදව සදහන් වෙනවා.’’ කොඩිතුවක්කු සදහන් කළේය.

මේ වන විට හොද තත්වයෙන් ඉතිරිව ඇති ගල් පාලමක් වන්නේ මහකනදරා ඔය හරහා ඉදිකර තිබෙන ගල් පාලයමය. මේ ගල් පාලම ලංකාවේ ගල් පාලම් තාක්ෂණය පිළිබදව නිහඩව කතාකරන්නේය. කොතරම් ඉහළ තාක්ෂණයක් ගල් පාලම් ඉදිකිරීමේදී යොදාගෙන ඇත්දැයි යන්න මේ ගල්පාලම දෙස බැලීමේදී අවභෝධ කරගත හැකිවන්නේය.

බාල්ක පාලම්

ප‍්‍රධාන මාර්ගයන්හි ඉදිකර ඇති පාලම් බාල්ක පාලම් ලෙසින් කොඩිතුවක්කු හදුන්වා දෙන්නේය.

‘‘ප‍්‍රධාන මාර්ගයන්හි ඉදිකර තිබෙන පාලම් ඉදිකර තිබෙන්නේ ගල් කණු තුනක් මතයි. පොළවේ ඉදිකළ ගල් කණු තුන මත හරස් අතට තවත් ගල් කණුවක් දානවා. හරස් අතට දැමූ ගල් කණුව හරහා ගල් පුවරු අතුරනවා. ගල් පුවරු හතක් අටක් පමණ අතුරා පාලමේ තට්ටුව සකස් කරනවා. පොළවේ සිටුවා තිබෙන කණුවල කුඩුම්බි තිබෙනවා.’’ හෙතෙම කියන්නේය.

‘‘කුඩුම්බි තාක්ෂණය ගල් පාලම්වලට යොදාගෙන තිබෙනවා. කුඩුම්බි තාක්ෂණය නිසා ගල් පාලම් ශක්තිමත්ව සකස් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.’’ මෙන්ඩිස් කීවේය.

අනුරාධපුරයුගය වන විට යකඩ තාක්ෂණයේ දියුණුවක් ඇතිවූවේය. යකඩ උනු කිරීම සදහා යොදාගත් පෝරණු කැණීම්වලදී සොයාගෙන ඇති අතර යකඩ උපකරණ අනුරාධපුරයේ කළ කැණීම්වලදී මතුවුනේය. මේ යුගයේදී නිර්මාණය කළ සමාධි පිළිමය වැනි පිළිම නෙළිමට හැකි සියුම් යකඩ ආයුධ පවා සකස්කිරිමට තරම් තාක්ෂණයක් මෙකළ තිබුනේය.

‘‘ලෝහ කර්මාන්තයේ දියුණුවීම ශිලා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින්ම බලපා තිබෙනවා.’’ මෙන්ඩිස් කීය.

Bridge 2‘‘ලෝහ කර්මාන්තයේ දියුණුව නිසා නොයෙකුත් උපකරණ නිපදවූවා. සියුම් ආකාරයට ගල් වෙන්කිරීමට උපකරණ අවශ්‍ය වෙනවා. ගල් වෙන් කිරීම සදහා ඉතා සියුම් ආයුධ මේ කාලයේ තිබිලා තියෙනවා. මේ උපකරණ නොමැතිනම් ගල් පාලම් හදන්න බැහැ. යකඩ තාක්ෂණයේ හා ශිලා තාක්ෂණයේ දියුණුවීමේ එකතුවක් තමයි ගල් පාලම්.’’ කොඩිතුවක්කු සදහන් කරන්නේය.

කාලයක් පැවතිය හැකි ආකාරයෙන් මේ ගල්පාලම් සකස්කර ඇතැයි මෙන්ඩිස් පැවසුවේය.

‘‘මල්වතු ඔය අදටත් පිටාර ගලනවා. ඔය පිටාර ගලන විට ඒකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් තමයි ගල් පාලම් සකස් කර තිබෙන්නේ. ලී වගේ දේවල් භාවිතා කරන්නේ නැතිව ගල් වලින් පාලම සකස් කර තිබෙන්නේ මෙය විශාල සැඩ පහරකට පවා ඔරොත්තු දෙන නිසයි. ලී වලින් සකස්කළ පාලම් මේ වගේ සැඩ වතුර පාරකට ඔරොත්තු දෙන්නේ නැහැ.’’ හෙතෙම කීවේය.

ලී වලින් සකස්කළ පාලම් වල ශේෂවූ කොටස්වත් දක්නට නොලැබෙන විටදී මල්වතු ඔයේ නැම්මක ඉදිකළ ගල් පාලමේ කොටසක් අද පවා සුරැකිව තිබෙන්නේ පාලමේ ඇති ශක්තිමත් බව නිසාය.

ගල් පුවරු පාලම්

අනුරාධපුරයේ තිබෙන විශාල ගල් පාලම්වලට අමතරව තවත් කුඩා ගල් පාලම් වර්ගයක් දන්නට ලැබෙතැයි කොඩිතුවක්කු කියන්නේය.

‘‘අඩි පාරවල්වලට සම්බන්ධ කරලා තවත් ගල් පාලම් වර්ගයක් තියෙනවා. ඒ වගේම විහාර ආරාම ඇතුලේ ගලින් කළ පාලම් දකින්න ලැබෙනවා. රිටිගල අරන්කැලේ වගේ ආරාමවල කුඩා ගල් පාලම් දකින්න පුලුවන් කම තිබෙනවා.’’ ඔහු කීවේය.

කුඩා ගල් පාලම් විශාල පාලම් මෙන් නොවේ. විශාල පාලම් සකස්කරන ආකාරයට ගල් කණු මත මේවා ඉදිකරන්නේ නැත. ගල් පුවරුවක් පමණක් ඇතිරීමෙන් මේ පාලම් සකස් කරන්නේය. මේ වර්ගයේ පාලම් කොඩිතුවක්කු හදුන්වාදෙන්නේ ගල් පුවරු පාලම් ලෙසිනි.

‘‘පදානගල භාවනාකුටිවල පාලම් පුවරු පාලම්වලට හොදම උදාහරණයක් ලෙසින් හදුන්වාදෙන්න පුලුවන්. මේ ගොඩනැගිල්ල කොටස් දෙකකට වෙන්කර තිබෙනවා. ඒ කොටස් දෙක මැදින් දිය අගලක් තියෙනවා. දිය අගල මැදින් එහා මෙහා යාමට ගල් පුවරුවක් අතුරා පුවරු පාලම් සකස්කර තියෙනවා.’’ කොඩිතුවක්කු කීවේය.

පදානගල කැණීම්වලදී පාලම් අසල තිබී උළු කැබලි යොසාගෙන තිබුණි. මේ අනුව පාලමට උළු සෙවිලි කළ වහලක් තිබී ඇති බවට විශ්වාස කළ හැකියැයි හෙතෙම කියන්නේය.

ගල් පාලමට නරක කාලයක්

අනුරාධපුර යුගයෙන් පසුව ශිලා තාක්ෂණය යොදාගනිම්න් පාලම් ඉදිකිරීම අභාවයට ගියේය. අනුරාධපුර රාජධානියෙන් පසුව ලංකාවේ රාජධානි බවට පත්වූ පොළොන්නරුව හා දඹදෙනිය යුගවලදී ගල් පාලම් ඉදිකළ ඇති බවට සාක්ෂි ලැබෙන්නේ නැත. ගල් පාලම් ඉදිකිරීම වෙනුවට පොළොන්නරුව යුගයේදී ලී පාලම් ඉදිකිරීම වේගයෙන් ව්‍යාප්ත වූවේය.

‘‘පොළොන්නරුව හා දඹදෙනිය යුගවලදී ලී පාලම් ඉදි කර තිබෙන බවට මහාවංශයේ සදහන් වෙනවා. මහා පරාක‍්‍රමබාහු රජතුමා විසින් කලා ඔය හරහා ලී පාලමක් ඉදිකර තිබෙනවා. දොළොස්වන හා දහතුන්වන සියවස්වල දී ගල් පාලම් පිළිබදව සදහන් වෙනවා. මහා පරාක‍්‍රමබාහු රජුගේ දේව සෙනවියා විසින් ගිරිබාවට උතුරින් කලාඔය හරහා තනා තිබෙන පාලම ඇත් අස් රිය පාබල හමුදාවන්ට ගමන් කළ හැකි ආකාරයෙන් ඉදිකර තිබෙනවා. මේ පාලම දිගින් රියන් දෙසීයක් වෙනවා. පළළ රියන් විසක් එනම් මීටර් නමයක් වෙනවා.’’ කොඩිතුවක්කු කියන්නේය.

මහාවංශයේ සදහන් වන්නේ මේ පාලම ඉදිකිරීමට යකඩ ඇණ යකඩ පටි ලී කදන් ආදිය යොදාගෙන ඇති බවයි. ලංකාවේ රාජධානි අභාවයට ගොස් ඉංග‍්‍රීසි පාලකයින්ගේ පාලන සමය වන විට ලී පාලම් මෙන්ම එල්ලෙන පාලම් ඉදිකිරීම දක්නට ලැබුනේය. පසුකාලීනව ඉංග‍්‍රීසි පාලකයින් යකඩ හා සිමින්ති පාලම් ඉදිකළේය.

ලංකාවේ රාජධානි අභාවයට යාමත් සමගින් ගල් පාලම් භාවිතයද ක‍්‍රමයෙන් අභාවයට ගියේය. ගල් පාලම් තිබූ මාර්ග භාවිතයට ගැනීම සීමා වූවේය. නමුත් මේ මාර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නැවතී තිබුනේ නැත. මෙරට අවසන් රාජධානිය වූ මහනුවර යුගයේදී ලංකාව පිළිබදව වාර්තාවන් ඉදිරිපත් කළ රොබට් නොක්ස්ගේ වාර්තාවන්හි ගල් පාලම් පිළිබදව සදහන් වන්නේ මේ කාලය වන විටත් ගල් පාලම් භාවිතයට ගත් නිසාය.

ගල් පාලම් සංරක්ෂණය කෙරේ

අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී අඩු අවධානයක් ලැබී තිබුන ගල් පාලම් පිළිබදව බොහෝ දෙනා කතාකරන්නට වූයේ වසර තුන හතරකට පෙරදීය. මල්වතු ඔය හරහා තිබෙන ගල් පාලම අවසන් වරට සංරක්ෂණය කර ඇත්තේ 2007 වසරේදීය.

‘‘සංරක්ෂණය කිරීමට පෙර මල්වතුඔය හරහා තිබෙන ගල් පාලමේ ගල් කණු වතුරේ තිබුනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2007 වසරේදී තමයි මේ ගල් පාලමේ සංරක්ෂණ කටයුතු අවසන් කළේ. නමුත් පාලමේ තවත් කොටසක් පස් වලින් වැසී තිබෙන්න පුලුවන්. කාලයක් ගග ගලාගෙන යාම නිසා ගග මේ වන විට වෙනස් වෙලා තියෙන්නේ. කැණීම් කරලා පාලමේ අනික් කොටස් මතුකරගත යුතුයි.’’ මෙන්ඩිස් කීය.

අනුරාධපුරය ත‍්‍රිකුණාමලය වරාය යාකරමින් පැවති මාර්ගයේ කනදරා ඔය හරහා තිබෙන ගල් පාලමේ සංරක්ෂණ කටයුතු අවසන් කළේ 2008 වසරේදීය. එම සංරක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව පාලම බලාගන්නේ ඒ ප‍්‍රදේශයේම සිටින ඥාණසිංහ බණ්ඩා විසිනි.

ගල් පාලම නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ගල් පාලම පිළිබව විස්තර කරදීම් සියල්ල කරන්නේ මොහු විසිනි. ගල් පාලමේ නිල නොලත් භාරකරු වන්නේද ඔහුය.

‘‘මම තමයි මේ පාලම බලාගන්නේ. මේක බලන්න පුරාවිද්‍යාඑකේ මහත්තුරු එනවා. විශ්වවිද්‍යාලවල අය එනවා. ඒ අයත් මගෙන් තමයි විස්තර අහගන්නේ.’’ බණ්ඩා කීවේය.

  • Share/Save/Bookmark
අනුරාධපුරයේ පුරාණ ගල් පාලම්

Comments

Popular posts from this blog